මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයාබැලීමට විශේෂ ජනාධිපති කොමිසමක්  [2006.11.07]

 --------------------------------------------------------------------------

 

මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයාබැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විශේෂ පරික්ෂණ කොමිසමක් පත්කර ඇත. වසර 2005 අගෝස්තු පළමුවැනි දා සිට සිදු වී ඇතැ යි කියන බරපතල  මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳව මෙම කොමිසම විසින් කරුණු විමර්ශනය කරනු ඇත.

 

මෙම කොමිසමේ සභාපතීත්වය දරණුයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම මහතා වන අතර කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස උපවංශ යාපා, මනෝරි මුත්තෙට්ටුවේගම, එස්.එස්. විජේරත්න ආචාර්ය දේවනේෂන් නේසයියා, ජෙසීමා ඉස්මයිල්, කේ.සී.ලෝගේෂ්වරන්,සහ ජාවෙඩ් යුසුප් යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇත.

 

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් හා සාම මහලේකම් කාර්යාල  නියෝජ්‍ය ප්‍රධානී කේතිෂ්වරන් ලෝගනාතන්  යන ඝාතනයන් පිළිබඳ මෙම කොමිසම පරික්ෂණ  පවත්වනු ලබන අතර පසුගිය කාලයේ සිදුවු දිගම්පතන නිරායුධ නාවික සෙබළුන් ඝාතනය, මුත්තුර් සහන සේවකයින් දහහත්දෙනාගේ ඝාතනය ඇතුළු සිද්ධීන්  පිළිබඳව ද පරික්ෂණ  කිරීම සඳහා මෙම කොමිසමට බලය පවරා දී ඇත.

 

පුර්ණ විනිවිඳ භාවයකින් යුතුව මෙම කොමිසම කරුණු විමර්ශනය කරන අතර මේ පිළිබඳ ඕනැම තොරතුරක් වෙතොත් ඒවා රහසිගතව කොමිසම වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව මහජනයාට ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

 

මෙම කොමිසමේ කටයුතු අධ්‍යනය කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් ස්වාධීන පුද්ගලයින්ගෙන් සමන්විත කොමිසමක්ද  ඉදිරියේ දී පත්කරනු ඇත.

 

 

 

 

[GMT 07:35  Tuesday, November 07, 2006 ]

 

      Top
       
       

blue sqButton.jpg (1703 bytes) විමසීම් : මෙම වෙබ් අඩවිය පිළිබඳ ඔබේ අදහස් සහ ගැටළු webmaster@priu.gov.lk  වෙත යොමු කරන්න.